ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

z_page-09-Statesman3

අධ්‍යාපනයේ පියා යනුවෙන් විරුදාවලිය ලැබූ ශ්‍රේෂ්ඨ නායකයකු වන ආචාර්ය ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ජාතියකට ඉතා කලාතුරකින් පහළ වන අන්දමේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් මෙන්ම ජාතික වීරවරයෙක් ද වේ. ඔහු ජාත්‍යන්තර වශයෙන් ද නමක් දිනූ විද්වතෙකි. කුඩා ජල පහරක් මෙන් ඇරඹුණු ඔහුගේ ජීවිතය නිමා කළේ සියලූ ලාංකිකයන්ගේ අධ්‍යාපන සාපිපාසාව සංසිඳවන මහා ගංගා ප‍්‍රවාහයක් බවට පත්වීමෙන් පසුවය. ඔහු මහත් පරිශ‍්‍රමයෙන් ලැබූ අධ්‍යාපනය ස්වකීය දේශයේ සියලූ දරුවන්ට පොදුවේ ලබාගත හැකි මංපෙත් පාදා දීමට නොපසුබස්නා අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. 1945 දී ලංකාවේ සිටි ඉන්දියානු නියෝජිත එම්. එස්. ආනේ මහතාගේ කියමනක් මෙහිදී සිහිපත් කළ හැකිය. එනම්,

“කන්නන්ගර මැතිතුමා මහා භාරතයේ උපත ලැබී නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු ඇත.”

එහෙත් එතුමාට හිමි තැන එතුමා ජීවත්ව සිටියදී ලැබුණේ නම් හෝ එම අදහස් එලෙසින්ම ක‍්‍රියාත්මක වූයේ නම් හෝ අද උද්ගත වී ඇති බොහෝ ප‍්‍රශ්න පැනනැගෙනු ඇත්ද?

Mr.C.W.W.Kannangara

ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර උපන්නේ 1894 ඔක්තෝබර් 18 වැනි දිනය. දොන් දානියෙල් විජේකෝන් කන්නන්ගර පිස්කල් රාළහාමිගේත්, එමලි වීරසිංහ මහත්මියගේත් තුන්වන දරුවා ව උපන් ක‍්‍රිස්ටෝපර් දරුවාට සහෝදර සහෝදරියන් පස්දෙනෙක් සිටියහ. එතුමාගේ පියා බලපිටිය උසාවියේ පිස්කල් තනතුර දැරූ, දොන් දානියෙල් කන්නන්ගරය. ඔහු දක්‍ෂ කවියෙකු වූ අතර “මුතුහර”, “කව්මිණි සයුර” යන ග‍්‍රන්ථ දෙක ද පළ කර ඇත. සිංහල පොතපත පරිශීලනයට තම පුතුන් උනන්දු කළ පියාගේ මඟපෙන්වීම අනුව ඉගනීමෙහි යෙදුණු ක‍්‍රිස්ටෝපර් කන්නන්ගර අංකුර අවදියේම අනාගතයේ මහා වනස්පති වෘක්‍ෂයක් වන බව පෙන්නුම් කළේය. අතට අසුවූ ඕනෑම දෙයක් කියවීමට උත්සුක වුණු කන්නන්ගර දරුවා ක‍්‍රමයෙන් වැඩෙත් ම සියලූම විෂයයන් ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩා සහ කථිකත්වයට ද සහජ දක්‍ෂතා පෙන්නුම් කළේය.

ගුණගරුක ගැමි කාන්තාවක වූ මවත්, ප‍්‍රතාපවත් සිංහලයකු වූ පියාත් විසින් කන්නන්ගර දරුවාගේ කුඩා මනසෙහි දේශාභිමානය පුරවමින් කීර්තිමත් ලාංකිකයකු වීමට අවශ්‍ය අත්තිවාරම දමනු ලැබීය.

800px-Richmond_College_Main_Hall

දේශපාලනයට පිවිසීම :

ගාල්ලේ විහාරස්ථානයකින් පෞද්ගලිකව ලබාගත් පෙරදිග භාෂා සංස්කෘත දැනුම ද ඔහුගේ දේශාභිමානය හා දේශීය සංස්කාතිය ඔප්නැංවීමට හේතුවිය. අම්බලන්ගොඩ වෙස්ලියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර සිය විදුහලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදි ත්‍යාග රැසක් ලබාගත්තේ එවකට රිච්මන්ඞ් විදුහලේ විදුහල්පති ඩැලර් පියතුමා අතිනි. ත්‍යාග ගෙනයාමට කරත්තයක් ගෙනාවෙහිදැයි ඩැලර් පියතමා විහිළුවට ප‍්‍රශ්න කළේ කන්නන්ගර ශිෂ්‍යයාගේ දීප්තිමත් භාවය පිළිබඳ අමන්දානන්දයට පත්වීමෙනි. මෙම ත්‍යාග ප‍්‍රදානොත්සවය කුඩා කන්නන්ගරයේ ජීවිතයේ සන්ධිස්ථානයක් විය. මන්දයත්, එතැන් පටන් ගාල්ල රිච්මන්ඞ් විදුහලේ අධ්‍යාපනය ලැබීමට ඔහුට මගපෑදුණු බැවිනි. රිච්මන්ඞ් විදුහල් මවගේ අද්විතීය සුජාත පුත‍්‍රයකු වූ කන්නන්ගර, අධ්‍යාපනය පමණක් නොව නාට්‍ය, කථික, ක‍්‍රීඩා ආදි සියලූ අංශවලින් කුසලතාව දක්වමින් දකුණු පළාතේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනාගත්තේය. අනතුරුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනා විශ්ව කීර්තියට පත් කන්නන්ගර තම නම පමණක් නොව රිච්මන්ඞ් විදුහල ද ලංකාව ද විශ්ව කීර්තියට පත් කළේය. අතීත, වර්තමාන, අනාගත සකල ශිෂ්‍ය පරපුරට ආදර්ශමත් ප‍්‍රතිරූපයක් ගොඩනැංවූ කන්නන්ගර අනතුරුව සිය පාසල් ශිෂ්‍ය ජීවිතයට ආයුබෝවන් කීවේ තමා උගත් රිච්මන්ඞ් විද්‍යාලයේම ගණිත ගුරුවරයා බවට පත්වෙමිනි. අනතුරුව මොරටුව වේල්ස් කුමර විදුහලේ හා කොළඹ වෙස්ලි විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු ලෙස කටයුතු කරමින් නීතීඥ වෘත්තිය සඳහා ද උගත් ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර දිළිඳු හා වරප‍්‍රසාද නොලත් පන්තියේ මිනිසුන්ගේ ගැලවුම්කරුවකු මෙන් කටයුතු කරමින් නීතිඥ වෘත්තිය සමාජ සේවයක් හැටියට ද ඉටුකිරීම ඇරඹීය.

වැඩිකල් යාමට මත්තෙන් කන්නන්ගර දේශපාලන හා සමාජ සේවා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන පුද්ගලයකු බවට පත් වූයේ ඇතැම් දේශපාලඥයන් මෙන් ස්වාර්ථය සලකා ගැනීමට නොවේ. ස්වකීය දේශයේ සිටින ජනතාවගේ ඉෂ්ඨාර්ථ, සුබ සිද්ධිය වෙනුවෙන් ඔහු සිය ජිවිතය කැප කළේය. 1917 දී ඔහුගේ පුරෝගාමිත්වයෙන් ගාල්ලේ ජාතික සංගමය පිහිටුවීය. 1922 දී මහනුවර ඊඩිත් වීරසූරිය මෙනවිය හා විවාහ වූ ආචාර්ය කන්නන්ගර සිය දේශපාලන ජීවිතයේ මල්ඵල ලඟාකරගත්තේ 1923 දී ගාල්ල මන්ත‍්‍රීවරයා බවට පත්වීමෙනි. 1930 දී ලංකා ජාතික කොංග‍්‍රස් සභාවේ සභාපති පදවියට පත්වූ ආචාර්ය කන්නන්ගර 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ද පත් විය.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විධායක මණ්ඩල පත් කිරීමේදී අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති තනතුරට වැඩි ඡන්දයෙන් පත් වූයේ ආචාර්ය කන්නන්ගරය. 1936 පෙබරවාරි 27 වැනි දින පැවැත්වුණු දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ද මතුගම ආසනයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට එතුමා සමත් විය. එහිදී අධ්‍යාපන විධායක සභාවට පත්ව දෙවන වරට ද අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවමින් ලංකාවේ අධ්‍යාපනයට නොමැකෙන සේවාවක් ඉටු කළේය. ඒ අනුව නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දීමේ අතිවිශිෂ්ඨ මෙහෙවර ද ඉටු කළේය. එහෙත් 1947 ඡන්දයෙන් විල්මට් ඒ.පෙරේරා මහතාට පැරදුණු කන්නන්ගර මහතා ඉන්දුනීසියාවේ තානාපති ධූරය ලබා එහි සේවය සඳහා ගියේය.

යළිත් ලංකාවට පැමිණ 1952 මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට පත් වුවද මෙහිදී අධ්‍යාපන ඇමති ධූරය වෙනුවට එතුමාට ලැබුණේ පළාත් පාලන ඇමති ධූරයයි. 1960 මැතිවරණ සමය වන විට එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් විශ‍්‍රාම ගෙන සිටියේය.

1961 ජාතික අධ්‍යාපන කොමිසමේ සාමාජිකයකු ලෙස සේවය කරමින් එතුමා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට අගනා මෙහෙවරක් තවදුරටත් ඉටු කළේය. අධ්‍යාපනය තුළින් ජාතියට මඟපෙන්වූ විද්වතුන් සැමරීම පරමාර්ථය කරගත් ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන් දස දෙනෙක් නැමති මෙම කෘතියේ දී වැඩි අවධානයක් යොමු කරනුයේ ලංකාවේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන්ගෙන් ඉටු වූ අධ්‍යාපනික සේවාව කෙරෙහි බව මුළින්ම කිව යුතුය. එබැවින් මෙතැන් සිට කන්නන්ගර මැතිතුමාගෙන් ඉටුවුනු අධ්‍යාපනික මෙහෙය පිළිබඳව විමසුමක් යෙදීමට අදහස් කරමි.

Christopher William Wijekoon Kannangara

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපනික දර්ශනය හා අධ්‍යාපනික සේවය :

1931 සිට 1946 දක්වා ලංකාවේ අධ්‍යාපන ඇමතිව සිටි කන්නන්ගර මැතිතුමා මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉටු කළ විශිෂ්ඨ ජාතික මෙහෙවර තුළින් අධ්‍යාපන පුනරුදයක් ඇති කළේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එමඟින් ලංකාවේ බමුණු කුලය හෙවත් ධනවත් ඉංග‍්‍රීසි උගත් පන්තියේ ඒකාධිකාරය ද බිඳ වැටිණි. එම පුනරුදය දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික පුනරුදයක් කරා මෙරට සමාජය ගමන් කරවීමට ප‍්‍රබල පිටුබලයක් සැපයීය. ලාංකික ජනතාවගේ අධ්‍යාපන ගැටළු මෙන් ම සමාජ ආර්ථික ගැටළු පිළිබඳ පුළු අත්දැකීම් ලබා තිබුණු එතුමාට ලංකාවේ දරුවනට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම සාර්ථකව කළ හැකි විය.

උගතුන්ට හා දේපල හිමියන්ට පමණක් සීමාවී තිබුණු ඡන්ද බලය සර්ව ජන ඡුන්ද බලය බවට පරිවර්තනය වීමත් සමඟ ම පොදු ජන සුභසාධනය යන සංකල්පය අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද බලපෑවේ ය. මෙහිලා කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයන් යුග මෙහෙවරත් ඉටුකළ කාර්ය පද්ධතියක් බවට පත් විය.

1936 අගෝස්තු 17 වන දින ඊ.ඒ. නුගවෙල මහතා විසින් යෝජනා කරන ලදුව, අධ්‍යාපනය පිළිබඳ කාරක සභාව පත් විය. එහි සභාපති පදවියට පත් වූයේ ආචාර්ය කන්නන්ගරය. දිවයිනේ පිහිටි සියළුම රජයේ විද්‍යාලවල බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපන පිළිවෙතක් ඇති කළේ මෙම කාරක සභාවේ ක‍්‍රියාකාරිත්වය මගිනි. ආචාර්ය කන්නන්ගර ශ‍්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට රුකුලක් වන පරිදි අධ්‍යාපනය සැලසුම් කිරීමේ නිරත විය. පහත සඳහන් ක‍්‍රියාමාර්ග අනුගමනය කළයුතු බව එතුමා යෝජනා කළේය.

  • සියලූම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම.
  • ඉංග‍්‍රීසි වෙනුවට ජාතික සභාව අධ්‍යාපන මාධ්‍යය බවට පත් කිරීම.
  • පාසල් පද්ධතිය රජයට පවරා ගැනීම.
  • හැම ළමයෙකුට ම තම දෙමව්පියන්ගේ ආගම ඉගැන්වීම.
  • ආධාර ලබන පාසල්වල ගුරුවරුන් පාසල් කලමනාකරුවන්ගේ අයුක්ති සහගත පාලනයෙන් මුදවා ගැනීම.
  • වැඩිහිටි අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් විධිවිධාන සැලසීම.

මෙම ක‍්‍රියාමාර්ග ඉටු කරගැනීම තුළින් අධ්‍යාපන පද්ධතියේ පහත සඳහන් නවීකරණ ඇති විය.

  • පළමුවන වසරේ සිට විශ්ව විද්‍යාල අවධිය දක්වා නිදහස් අධ්‍යාපනය.
  • මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම.
  • මූලික අධ්‍යාපන අවස්ථා පුලූල් කිරීම සඳහා පන්සල් , පල්ලි හා දේවස්ථානවල ඉගැන්වීම් කටයුතු කළේය.
  • අධ්‍යාපනය සඳහා ගම්බද දරුවන්ට වැඩි අවස්ථා ලබාදීම.
  • ආදායම් අඩු ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ක‍්‍රමයක් පිහිටුවීම.
  • පොදු විෂය නිර්දේශ සකස් කිරීම.
  • විෂය බාහිර කටයුතු සංවිධානය කිරීම.
  • සංගීතය හා නැටුම් ඉගෙනීමට අවස්ථාව සැලසීම.
  • මලල ක‍්‍රීඩා සඳහා අවස්ථාව සැලසීම.
  • පාසල්වලට ක‍්‍රීඩා පිට්ටනි ලබාදීම.
  • පාසල් අධ්‍යාපනයේ අංගයක් ලෙස වතුවැඩ ඇතුළත් කිරීම.
  • ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විද්‍යාල පිහිටුවීම.
  • ගුරු විද්‍යාලවල සමබර අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගැනීම.
  • දෙවන පන්තියේ සිට ඉංග‍්‍රීසි ඉගෙනීම අනිවාර්ය කිරීම.
  • දරුවන්ගේ හිස , හිත , අත හා සෞඛ්‍යය සංවර්ධනය කළ යුතුය යන ආකල්පය ඇතිව ඉගෙනීමට අවස්ථා සංවිධානය කිරීම. (එහිදී ඥානය මෙන් ම ප‍්‍රායෝගික දක්‍ෂතා සහ සෞන්දර්ය රසාස්වාදයට අවස්ථාව දීම.
  • වැඩෙහි යෙදෙමින් ඉගෙනීමට අවස්ථාව සැලසීමේ ඉගෙනුම් ක‍්‍රමයක් හඳුන්වා දීම.

(හත්දෙස්ස ක‍්‍රමය හෙවත් ග‍්‍රාමීය අධ්‍යාපන ක‍්‍රමය යනුනේ හැඳින්වුණු මෙය ලංකාවේ දරුවන්ට බෙහෙවින් ගැලපෙන පුහුණු මාරුවට ඉඩකඩ සැලසෙන ක‍්‍රමයක් වූ අතර කෘෂිකාර්මික සංවර්ධනයට ද හිතකර විය. එහෙත් ඇතැම් බලවේග නිසා මෙම ක‍්‍රමය අත්හැර දමන්නට සිදුවිය.)

  • දරුවන්ගේ අවශ්‍යතා සහ රටෙහි අවශ්‍යතා තුලනය වන සමබර අධ්‍යාපන ක‍්‍රමයක් සැලසුම් කළ යුතු බව ඔහු පිළිගත් මූලධර්මය විය.
  • සිසුන්ගේ පාසල් ජීවිතය ඔවුන්ට අවශ්‍ය ආකල්ප හා සාරධර්ම මුල් බැස ගන්නා අවධිය වන බැවින් ජාතියක ජීවය හා ආගමික හා සංස්කාතික හැදියාව පවරා දීමට සරිලන පරිදි අධ්‍යාපන ක‍්‍රමය සකස් කිරීම.
  • 1929 පත් කළ විශ්ව විද්‍යාල කොමිසමේ වාර්තාව පරිදි 1943 දී කන්නන්ගර මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපනය පිළිබඳ කාරක සභාවක් පිහිටුවන ලදී. මේ කාරක සභාවේ නිර්දේශ අනුව ලංකාවේ අධ්‍යාපන පර්යේෂණ කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අධ්‍යාපන පර්යේෂණ මණ්ඩලයක් ද පිහිටුවන ලදී. එහි නිර්දේශ නීතිගත කරන ලදුව ශ‍්‍රි ලංකාවේ ජාතික විශ්ව විද්‍යාලයක් ද ප‍්‍රතිෂ්ඨාපිත විය.
  • ගුරු වැටුප හා ගුරුවරුන්ගේ සමාජ ආර්ථික තත්වය නැංවීමට එතුමා ක‍්‍රියා කළේය.

මෙම නවීකරණ ඔස්සේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව නැම්මක් ඇතිවූ අතර ඒ වකවානුව වන විට අධ්‍යාපනය අතින් ආසියාවේ දියුණුම රට බවට ශ‍්‍රී ලංකාව පත්විය.

උගතුන් වැඩි කිරීමට මෙන්ම සමාජ සඵලතාව ඇති කිරීමටද කන්නන්ගර මහතාගේ මෙම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ බෙහෙවින් වැදගත් විය. එම වකවානුවේ ආසියාතික රටවල් අතුරෙන් ජාතික ආදායමේ වැඩිම ප‍්‍රතිශතයක් එනම් 5% ක් අධ්‍යාපනයට වැයකළ එකම රට ශ‍්‍රී ලංකාවයි.

ශ‍්‍රී ලංකාවේ ජාතික සමගිය ඇතිකිරීමේ අරමුණ ඇතිව කරන ලද අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මගින් ඔහු ජාතික සමගිය තහවුරු කළේය. වකට දුර්වල ව පැවති මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රගතිය කෙරෙහි ඔහු දැක්වූ විශේෂ අනුග‍්‍රහය සෝල්බරි කොමිසමේ ද විශේෂ ප‍්‍රසාදයට හේතු විය.

බොහෝ හේතු නිසා අතීතයේ මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපනය සාපේක්‍ෂ ලෙස නොදියුණු තත්ත්වයක පැවතිනි. එහෙත් සිංහලයෙකු වූද බෞද්ධයෙකු වූද අධ්‍යාපන ඇමතිවරයා මේ ජාතීන්ගේ අධ්‍යාපනය නැංවීමට ගත් පියවර ගැන අපි විශේෂයෙන් පැහැදුණෙමු.

සෝල්බරි සාමිවරයාද අගය කළ මෙම ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාවේ ජාතික සමගියට මෙන්ම ජාත්‍යන්තර කීර්තියටද හේතු විය. මුස්ලිම් ස්වභාෂා පාසල් රැසක් පිහිටුවූ අතර මුස්ලිම් ගුරු විදුහලක්ද ඇරඹිනි.

1934 දී අසරණ සරණ ආඥාපනත මගින් සියලූම ජාතීන්ට අයත් දුප්පත් දරුවන්ට පිලිසරණ වූ අතර පොදුවේ සෑම පාසල් දරුවෙකුටම නොමිලේ දිවා ආහාර ලබාදීමට කටයුතු කිරීම තුළින් දිළිඳු ජනකොටස්වල මන්දපෝෂණය පිටුදැකීමට හැකිවිය.

ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව වටහාගත් කන්නන්ගර මහතා පාසල් අධ්‍යාපනයට ප‍්‍රායෝගික වැඩ ඇතුළත් කළේය. කාර්මික විද්‍යාලය පිහිටුවමින් පාසල් හැර ගිය අයට උසස් කාර්මික දැනුමක් ලබාගැනීමට ද මග පෑදුවේය.

දක්‍ෂ, එහෙත් දිළිඳු දරුවන්ට ඉහළට යාමට අතදීමක් වශයෙන් මධ්‍ය මහා විද්‍යාලවල ශිෂ්‍යත්ව ලාභීන්ට ශිෂ්‍යාධාර ක‍්‍රමයක්ද ඇති කළේය. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර විභාගයට බාහිරව පෙනී සිටීමට ඉඩදීම මෙතුමාගේ දූරදර්ශී භාවය ප‍්‍රකට කරවන්නක් විය. මේ මගින් රැකියාවල නියුතු දක්ෂතා ඇති අයට ඉගෙනීම දියුණු කරගැනීමට හැකිවිය.

ශිෂ්‍යයාගේ හිස අත හා හදවත වර්ධනය කළ යුත්තේ ය යන කන්නන්ගර දර්ශනය වර්තමානයේ පවත්න දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය යන්නට බෙහෙවින් සමානය. ලංකාවේ සියලූ දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා සැලසිය යුතුය යන්නද එබඳුම මූලික දර්ශනයක් විය. එම දර්ශනය අනුව සිය “අනඟි මුතු ඇටය” නමින් හැඳින්වූ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ පසු ඔහු උදන් ඇනුවේ මෙසේය.

z_p33-Future2

මහා ඔගස්ටස් ඔහුගේ විශිෂ්ඨ විජයග‍්‍රහණයන් ක්ෂමාර්ග ප්‍රෞඨත්වයෙන් හුවා දක්වමින් ගඩොලින් සැදි රෝම පුරයක් තමාට හිමිවුවද එය අත්හළේ කිරිගරුඬින් නිම කිරීමෙන් පසුව, බව පැවසීය. එමෙන්ම ලංකා රාජ්‍ය මන්ත‍්‍රණ සභාව අනර්ඝ වස්තුවක්ව තිබූ අධ්‍යාපනය නොමිලේ ලද හැක්කක් බවට පත් කරමින් වසා තිබූ ග‍්‍රන්ථයක් විවෘත ප‍්‍රකාශනයක් බවට පත් කළේය.

ධනවතුන්ගේ ප‍්‍රවේනියක් දුගී දුප්පතුන්ගේ සදා උරුමයක් බවට පත් කළේය යන සාඩම්බර නමුදු සත්‍ය වූ ප‍්‍රකාශයකින් ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව මගේ මේ සංදේශය සමාප්ත කරමි” යනුවෙන් මෙතුමා සිය අධ්‍යාපන කර්තව්‍යය ගැන දැක්වූ අදහස් වර්තමාන අධ්‍යාපනඥයන්ගේද ප‍්‍රශංසාවට හේතු වනු ඇත.

මේ අයුරින් අධිරාජ්‍යවාදී පාලන යුගයක වුවද ලාංකික දරුවන්ට සිය දුෂ්කරතා සමනය කර ගැනීමට ඒකායන මාර්ගය වූ නිදහස් අධ්‍යාපන දොරටු විවර කරගැනීමට ඉඩකඩ සැලසීම සමාන කළ හැක්කේ ප‍්‍රාතිහාර්යයකට පමණි. සිය සංස්කෘතියේ උත්කෘෂ්ඨ අංග හඳුනා ගැනීමට හා සුරක්‍ෂිත බවේ නිවාසයට ඇතුල් වීමටත් වැඩවසම් සමාජ ක‍්‍රමයේ කොටු බැමි දෙදරවා සමාජ සඵලතාවක් ලබාගැනීමටත් ලාංකිකයාට ඉඩ ලැබුණේ ආචාර්ය කන්නන්ගර බිහිකළ නිදහස් අධ්‍යාපන පණත බව පැවසීම සාවද්‍ය නොවේ.

පසුකාලීනව ශ‍්‍රී ලංකාවට ලැබුණු සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමට හා ඡන්දයට ඉදිරිපත්ව දේශපාලන වගකීම දැරිය හැකි අවදි බවින් සම්පූර්ණ පිරිසක් බිහි කිරීමට මෙම නිදහස් අධ්‍යාපනය ඉවහල් විය. එමෙන්ම ජාතික ව්‍යාපාර වලට උරදීමට හැකි ප‍්‍රතිභා සම්පන්න පිරිසක් බිහිකර ලීමටද එම කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ උපකාරී විය.

විශේෂයෙන් දේශීය සංස්කෘතිය හඳුනාගත්, ගම්බද පොදු ජනතාව අතරින් බිහිවූ උගතුන් පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන, නීති වැනි ක්‍ෂේත‍්‍රයන්ට අවතීර්ණ කරවීමේ ගෞරවය කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට නිත්‍ය වශයෙන්ම හිමිවේ.

දෙමල පාසල් වල සිංහල ද, සිංහල පාසල්වල දෙමල ද අනිවාර්යෙන් ඉගැන්වීමේ වැඩ පිළිවෙලක් ද කන්නන්ගර මැතිතුමා හඳුන්වා දුන්නේය. එහෙත් එය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක නොවීය ක‍්‍රියාත්මක වූයේ විකල්ප භාෂාවක් ඉගෙනීමට අවස්ථාවක් හැටියට පමණි.

අනිවාර්යෙන්ම මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වී නම් ජනවාර්ගික ගැටලූවක් උද්ගත නොවන්නටද ඉඩ තිබිණි. ඉංග‍්‍රීසි අධ්‍යාපන රටාව මෙරටට නොගැලපෙන්නක් බව ඔහුගේ අධ්‍යාපන දැක්ම විය. ඉන්දියාවේ පැවති අන්තර් ආසියාතික සම්මේලනයකදී කතාකරමින් ඔහු අධ්‍යාපනය පිළිබඳව තම දැක්ම මෙසේ ඉදිරිපත් කළේය.

ඉන්දියාවේ මෙන්ම ලංකාවේ අධ්‍යාපනයද එහි ජනතාවගේ විවිධ පරමාර්ථ හා විවිධ සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කරන්නක් නොව විදේශ පාලන තන්ත‍්‍රයක අවශ්‍යතා සපුරාලන්නක් විය.

මෙරට අධ්‍යාපනය තුළින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රගතිය ඇතිකිරීම බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතාව නොවූ බව එතුමා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ජනතාවට ස්වාධීන චින්තනයක් හා නිවහල් ජීවිතයක අගය වටහා ගැනීමට සමත් අධ්‍යාපනයක් ලබාගැනීමට නම් එය දේශීය සිතුම් පැතුම් වර්ධනය වන පරිසරයක් තුළ ලබා දිය යුතු බව එතුමා අවධාරණය කළේය.

අධිරාජ්‍යවාදී ස්වාමිවරුනට පක්‍ෂපාතී වූ හා විදේශීය සම්ප‍්‍රදායන්ට ආසක්ත වූත් මේ රටේ පරිපාලනය දිගටම පවත්වා ගැනීමට සහාය වන්නාවූත් පිරිසක් බිහිකර ගැනීම බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ අරමුණයි.

පරාදීන යුගයක වුවද මෙම අරමුණට පටහැනිව මෙරට ආර්ථික සංස්කෘතික මෙන්ම පුද්ගලික නිදහස ද දිනාගැනීමට සමත්වූ පසුබිමක් ඇතිකර ගත හැකි පරිදි ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව වෙනස් කිරීමේ කාර්යයට උරදීමෙන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නැමති ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයා ජාතික වීරයෙක් ද වශයෙන් වීර ප‍්‍රසිද්ධියට පත් විය.


Leave a Reply