
ආකිමිඩිස් ග‍්‍රීක ජාතික විද්‍යාඥයෙකි. ක‍්‍රි.පූ. 287 වර්ෂයේ සිසිලි දූපතේ සයිරාකියුස් නුවර උපත ලැබීය. ආකිමිඩිස්ගේ පියා එවකට ග‍්‍රීසියේ විසූ තාරකා විද්‍යාඥයෙකි. මිසරයේ ඇලෙක්ස‍්‍රැන්ඩි‍්‍රයා නුවරත්, සයිරාකියුස් නුවරත්, අධ්‍යාපනය ලද ඔහු උපන් නගරයෙහි ජීවත් වෙමින් විද්‍යා, ගණිත කටයුතුවල නිරත විය. ඔහු සූර්යයා පිළිබඳව බොහෝ කරුණු සෙවූ අතර පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ද ගණනය කොට ඇත. එම දුර මුළුමනින්ම නිවැරදි නොවුව ද, වර්තමානයේ පිළිගත් සැබෑ දුරට සමීපය. ඔහු විවිධාකාර මෙවලම් යන්ත‍්‍ර සූත‍්‍ර හා යාන වාහන පිළිබඳව කටු සටහන් ඇඳ ඇත. අනාගතයේ මනුෂ්‍යයන් ගුවනින් යතැයි ඔහු විසින් පළ කරන ලද අනාවැකියත් අද සත්‍ය වී ඇත.

ආකිමිඩිස්ට මහත් ප‍්‍රසිද්ධියක් ලැබුණේ ඔහුගේ හියරෝ නමැති රජුට රන්කරුවෙකු විසින් තනා දෙන ලද ඔටුන්නේ රත්රන්වල සැබෑ බර සොයා ගැනීමෙනි. එය අද ආකිමිඩිස් න්‍යාය යන නමින් ප‍්‍රසිද්ධය. මේ හැර වෘත්තය, ගෝලය හා සිලින්ඩරය පිළිබඳ ගණිත කරුණු සොයා ගැනීම, බොහෝ කටයුතු සඳහා කප්පි යොදා ගැනීම, දොඹකර මගින් බර දේවල් එහා මෙහා කරවීම, ඉස්කුරුප්පු ජල පොම්ප නිපදවීම හා විශාල ගල් විසි කළහැකි කැටපෝල යන්ත‍්‍ර තැනීම ආදි කටයුතු රැසක් කළේය. තම යන්ත‍්‍ර සූත‍්‍ර මගින් ආක‍්‍රමණික රෝම හමුදා පසුබස්වා සෑහෙන කාලයක් සයිරාකියුස් නුවර ආරක්‍ෂා කර ගැනීමට ඔහු සමත් වූ බැව් වාර්තා වෙයි.
කෙසේ හෝ නගරය අල්වා ගත් රෝම සෙන්පති මාසෙලස් ආකිමිඩිස්ට කිසිම හිරිහැරයක් නොකොට කැඳවා ගෙන එන්නැයි භටයන් කීප දෙනෙකුට අණ කළේය. ඒ වන විට ඔහු කවරෙක්දැයි හඳුනා නොගත් භටයකු අතින් ඔහුගේ මරණය සිදුවී තිබුණි. එය සිදුවූයේ ක‍්‍රි.පූ. 212 වර්ෂයේදී ය.
